Monday, October 31, 2022

මගේ කුළුදුල් ආදරය


                  මගේ  කුළුදුල් ආදරය 

 



ආදරයට නුඹ 

බහ දුන්නත් කෝම

කෝමල වගේ නුඹ

ආදරයට තාම

මතකයි තාම නුඹේ

ඇස් දිලිසුනේ කෝම

අමතක කරනු බෑ

නුඹනම් මට තාම...






Friday, October 28, 2022

අහිමි පෙම

 අහිමි පෙම




පිං කරපු ඇස් වලට 

සොඳුරු සඳ පෙනුනාට 

ඒ සඳේ රැස් වලින් 

මුළු හිතම පිරුණාට 

අහිංසක මගේ හිත 

සඳට පෙම් කෙරුවාට 

මට නෙවේ සඳ අයිති 

අහසටයි හැමදාම .....

 






Sunday, October 23, 2022

සැබෑ මුතුදම

 සැබෑ මිතුදම


                             ඔබ රිදවන මිතුරාට 

                                ආදරය කරන්න 

                             ඔබට ආදරය කරන

                           මිතුරාට  නොරිදවන්න

                              මිතුරා වෙනුවෙන්  

                          හැමදේම කැප කරන්න

                        නමුත් කිසිවක් වෙනුවෙන් 

                        මිතුරාව කැප නොකරන්න






Friday, October 21, 2022

සත්ත්ව සන්නිවේදනය

                     සත්ත්ව සන්නිවේදනය 



මිනිසා සන්නිවේදනය සිදු කරන්නා සේම සතුන්ගේ පැවැත්ම සඳහා ඔවුන් විසින් ද සන්නිවේදනය සිදු කරනු ලබයි. සත්ත්ව සන්නිවේදනය ඔවුන්ට ආවේණික  වූ ස්වභාවයකින් යුතුව සිදු කරයි. මිනිසාගේ පැවැත්ම මෙන්ම සතුනගේ පැවැත්ම සඳහාද හේතු වන්නා වූ සත්ත්ව ප්‍රජාව අතරෙහි සිදුවන සන්නිවේදනය ලෙස හදුන්වයි.

සතුන් විසින් අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඉව කිරීම, ශබ්ද තරංග නිකුත් කිරීම, ඉරියව් ආදී විවිධ සන්නිවේදන ක්‍රම යොදා ගනු ලබයි. සත්ත්වයින්ට සෙසු සතුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට විවිධ ක්‍රම භාවිත කරයි. එහිදී ආහාර පාන ලබා ගැනීම, ආරක්ෂාව, වර්ගයා බෝ කිරීම යන ප්‍රධාන අවශ්‍යතාවන් සපුරා ගැනීමට ප්‍රමාණවත් අයුරින් සත්ත්ව සන්නිවේදනය ක්‍රියාත්මක වේ.

ඕනෑම ජීවියෙකු පරිසරය සමඟ විවිධ අයුරින් අන්තර් සම්බන්ධතා දක්වනු ලබයි. සත්ත්ව විද්‍යාඥයන්ගේගේ සොයා ගැනීම් අනුව සත්ත්ව සන්නිවේදනයේ අරමුණු හෙවත් අවශ්‍යතා කිහිපයක් හදුනාගත හැකිය. එනම්, 

1. ස්ථායිතාව

2. නොනැසී ජීවත්වීම

3. ප්‍රමුඛතාවය

4. ලිංගික ආකර්ෂණය 

5. ජෛව අවශ්‍යතාව 

මෙහිදී ස්ථායිතාව ලෙස හැදින් වෙන්නේ අනෙක් සත්ත්වයින් අතරෙහි චිර පැවැත්ම ස්ථාවර කර ගැනීමයි. බොහෝ සතුන් සාමූහිකව ජීවත් වෙයි. 

නිදසුනක් ලෙස දියකාවා වැනි සතුන් එකට ජීවත්වීම පෙන්වාදිය හැකිය. 

නොනැසී ජීවත් වීම යනු, තම වර්ගයා මෙන්ම අනෙකුත් සතුන් සමඟද සන්නිවේදනයේ දී විවිධ ආරක්ෂණ ක්‍රම ජෛවීය ලෙස භාවිත කරයි. 

නිදසුනක් ලෙස කටුස්සන් අනුවර්තනීය ලෙස හැදිනවිය හැකිය.

ප්‍රමුඛතාව යනු සතුන් අතර පවතින නායකත්ව ගුණයයි. සත්ත්ව ක්‍රියාකාරකම් අනුව හරකා ශක්තියද , අලියා වයසද , මී මැස්සා,බඹරු වැනි සතුන් විශේෂ කායික ලක්ෂණද ,නායකත්වය පිණිස යොදා ගනී. 

ලිංගික අවශ්‍යතාව සියලු සත්ත්වයින්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පදනම් කරගනිමින් සිදු වේ. නිදසුනක් ලෙස ශබ්ද   සන්නිවේදනය පදනම් කරගනිමින් උතුරු ජර්මනියේ රුක්මැඩියා ගැහැනු මැඩියා ගෙන්වීමට විශාල හඬක් නිකුත් කිරීම.

කුසගින්න ,සතුට,වේදනාව , තරහව ,ලිංගික උත්තේජනය ආදීය ජෛවීය අවශ්‍යතාව පල කිරීමේ සත්ත්ව සන්නිවේදනයේ තවත් අරමුණකි. නිදසුනක් ලෙස මී මැස්සන් ආහාර සොයා යාම.

සත්ත්ව සන්නිවේදනයේ දී තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීම උදෙසා විවිධ අයුරින් සංඥා භාවිත වේ. එලෙස භාවිත කරනු ලබන සංඥා මෙලෙස දැක්විය හැකිය. 

    • ශ්‍රව්‍ය සංඥා 
    • දෘශ්‍ය සංඥා 
    • රසායනික සංඥා 
    • ස්පර්ශය
බොහෝ සතුන් ශබ්දය උපයෝගී කර ගනිමින් සන්නිවේදනයේ යෙදේ. ශබ්ද සංඥා ,දෙපා ගැටීම, පියාපත් ගැටීම, මුඛයෙන් නඟන ශබ්ද ඔස්සේ සන්නිවේදනය සිදු කරයි.  නිදසුනක් ලෙස ජර්මනියේ තණකොළ පෙත්තා කකුල්වලින් ශබ්ද නිකුත් කිරීම 

දෘශ්‍ය සංඥා මඟින් ශරීර විලාසයන් වෙනස් කිරීම ,ශරීර වර්ණය වෙනස් කිරීම ,ආලෝකය නිකුත් කිරීම ආදී විවිධ ක්‍රම දැක්විය හැකිය. නිදසුනක් ලෙස මොනරා විසින් තම පිල් විදහා නර්තනයේ යෙදීම.

රසායනික සංඥා මඟින් සතුන් අතරෙහි ප්‍රබල සන්නිවේදනයක් සිදුවේ. නිදසුනක් ලෙස උරුලෑවා සුඟද දුඟඳ රසායනික ද්‍රව්‍යයක් සහිත සන්නිවේදනයක් සිදු කරයි.

ස්පර්ශය සත්ත්ව සන්නිවේදනයේ පවතින තවත් එක් අංගයකි. බළලා,බල්ලා වැනි සතුන් මිනිසා සමඟ ස්පශයේ යෙදීමෙන් සන්නිවේදනයේ නිරත්වීම නිදසුනක් ලෙස ගත හැකිය.

ස්වකීය ජීවන පැවැත්ම සඳහා මෙකී විවිධ වූ සන්නිවේදන චර්‍යාවන් සතුන් අතිශය විසිතුරු ලෙස භාවිත කරන බව ඔවුනගේ හැසිරීම නිරීක්ෂණයෙන් පෙනීයයි.

Tuesday, October 18, 2022

අවිධිමත් සන්නිවේදනය

 අවිධිමත් සන්නිවේදනය 

යම් ආයතනක පවතින විධිමත් සන්නිවේදනයට අමතරව ප්‍රබලවම ක්‍රියාත්මක වන සන්නිවේදන ක්‍රමයක් ලෙස අවිධිමත් සන්නිවේදනය පෙනවා දිය හැකිය. ඕපාදූප, කේලම්,කටකතා, කැලෑ පත්තර ආදිය අවිධිමත් සන්නිවේදන ක්‍රම ලෙස සරලවම හැදින්වේ. විධිමත් සන්නිවේදනය දුර්වල වූ වහාම අවිධිමත් සන්නිවේදනය ප්‍රබලව ඉස්මතුව පෙනේ. විධිමත්ව තොරතුරු නොලැබෙන කල අවිධිමත්ව තොරතුරු ලබා ගැනීමට පුද්ගලයෝ බොහෝ සෙයින් පෙළඹේ..ඒ අනුව අවිධිමත් සන්නිවේදනය සිදුවන ආකාර දාම හතරක් ඔස්සේ දැකගත හැකියි.

1. තනිදාමය

2. ඕපාදූප දාමය

3. සම්භාවිතා දාමය

4. පර්ශද දාමය


1. තනිදාමය

මෙහිදී එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුටත්, ඔහුගෙන් තවත් අයෙකුටත් තොරතුරු ගලායාම සිදු වේ. මෙම ක්‍රමයේ දී තමන්ට ලැබුණු ඇතැම්  තොරතුරු  මඟහැරීයාමත්, අමතක වීමත් සිදුවිය හැකි අතර ඇතැම් විට නව තොරතුරු එක්කොට පණිවිඩය වෙනස් ආකාරයකට ගලා යාමක් සිදුවිය හැකිය.


2. ඕපාදූප දාමය

මෙම දාමයේදී සිදු වන්නේ එක් අයෙකු විසින් අනෙක් සියල්ලන්ටම තොරතුරු ලබාදීමයි. ඔවුන් තමා වටා සිටින සියල්ලන්ටම තොරතුරු බෙදා හරිනු ලබයි. ඕනෑම ආයතනයක ඕපාදූපවලට කැමැත්තක් දක්වන පිරිසක් සිටී. ඕපාදූප බෙදාහරින පුද්ගලයාගේ දැනුම අවබෝධය අනුව තොරතුරු බෙදාහරින අතර එය ලබා ගන්නා පුද්ගලයා  ඔහුගේ දැනුම අවබෝධය අනුව එය වටහා ගනු ලබයි.


3. සම්භාවිතා දාමය

සම්භාවිතා දාමයේදී සිදු වන්නේ තමන්ට මුලින්ම හමුවන පුද්ගලයාට තොරතුරු ලබාදීමයි.  එම පුද්ගලයාද ඒ අනුවම තමන්ට හමුවන පුද්ගලයාට තොරතුරු ලබා දේ. එහිදී ද තොරතුරු අතිශයෝක්තියට නැංවීමක් හෝ නොතකා හෝ නව අර්ථකථන ලබාදීම් හෝ සිදු විය හැකියි. ඇතමෙකුට තොරතුරු නොලැබී යාමට ද ඉඩ ඇත.


4. පර්ශද දාමය

පරශද දාමයේ ස්වරූපය සම්භාවිතා දාමයට සමාන බවක් පෙන්නුම් කලද මෙහි ඇති වෙනස වන්නේ එක් අයෙකු තොරතුරු ලබා දෙන්නේ නිශ්චිත සම්බන්ධතාවක් ඇති තවත් අයෙකු හෝ කිහිප දෙනෙකු වීමයි. ඔවුන්ද ඒ ආකාරයට තමන්ට සම්බන්ධතා ඇති අයට පමණක් තොරතුරු ලබා දෙයි.මෙහිදී තොරතුරු විකෘති වීමට ඇති ඉඩකඩ සීමිතය. 


කෙසේවුවද අවිධිමත් සන්නිවේදනයේ ඉහත කී තොරතුරු දාම ඕනෑම ආයතනයක හෝ සංවිධානයක පැවතිය හැකිය. ඒවා තම ආයතනයට ඵලදායී අයුරින් යොදා ගැනීමට අවශ්‍ය නිපුණතාව වර්ධනය කර ගැනීම ඉතා වැදගත් වේ.

Sunday, October 16, 2022

ඇය අම්මා නම් විය.....

ඇය අම්මා නම් විය....


දැලි ඉඳුල් පිහ දදා

චීත්තේ පිටපොටේ

හැම උදේ ඈ තැබුවේ

බුදුසරණ මගේ හිසේ

බත් මුලට එතුවාට

ඇගේ රස අත් ගුණේ

අම්මා කවදත් කෑවේ

හීල්බත් දංකුඩේ...










Saturday, October 8, 2022

                        අන්තර්ජාල භාවිතය


අන්තර්ජාලය මේ වන විට ලංකාව තුළ ද ප්‍රධාන සන්නිවේදන මෙවලමක් වී තිබේ. එය ජන සන්නිවේදනයෙන් පුද්ගල සන්නිවේදනයට විතැන්වීම ද සිදුවිය. එහිදී සිදුවන්නේ පුද්ගල කේන්ද්‍රීය සන්නිවේදනයක් බිහි වීමය. සමාජ මාධ්‍ය විවිධ ප්‍රවණතා හරහා විවිධ උවමනාවන් වෙනුවෙන් භාවිත කෙරේ. එසේම අතිශය නම්‍යශීලී ප්‍රබල මාධ්‍යයක් බවට ද පත්විය. අතත්‍ය සන්නිවේදනය වැනි ප්‍රවණතා මෙරට තුළ ද වර්ධනය වී තිබේ. වෙනස් වන සන්නිවේදන සමාජය සමඟ පුද්ගලයාට ද වෙනස් වීමට සිදුවෙයි. ජනමාධ්‍ය සමඟ ගනුදෙනු කළ පුද්ගලයා නව මාධ්‍ය වෙත යොමු වූයේ නව ප්‍රවණතාවක ආරම්භකයක් ලෙසයි. එය මේ වන විට අභිසාරි මාධ්‍ය ලෙස ද සැලකේ. මෙහි අදහස වන්නේ සෙසු ජන මාධ්‍ය වල ගති ලක්ෂණ එකම මාධ්‍යයකින් දැකිය හැකි වීමයි.

අන්තර්ජාල භාවිතය හේතුවෙන් මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ ද වෙනස්කම් රැසක් සිදුවිය. වේගවත් පණිවිඩකරණය මෙන්ම නව සම්බන්ධතා ඇති කර ගැනීමත් ඒ අතර වෙයි. රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යයට හෝ පුවත්පත්ට වඩා තොරතුරු ව්‍යාප්ත වීමත් වර්තමානයේ නව මාධ්‍ය තුළ දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම ඇතැම් ක්‍රමවේද අවිධිමත් විධි ඔස්සේ සිදු වෙයි. යම් මතවාදයක් ඉක්මනින් ප්‍රචලිත වීමටත් අන්තර්ජාල තාක්ෂණය ඉවහල් විය.

රූපවාහිනී මාධ්‍ය තම වැඩසටහන් ජනතාව අතරට රැගෙන යාමේ තවත් ක්‍රමවේදයක් ලෙසට ද මෙය භාවිත කරයි. ජනප්‍රිය නාට්‍ය හෝ රියැලිටි වැඩසටහන් සමඟ සම්බන්ධ වීමටත් ඒවා යළි නැරඹීමටත් මේ හේතුවෙන් පහසුකම් සැපයී තිබේ. යූටියුබ් මාර්ගයෙන් මෙසේ වැඩසටහන් නැවත නරඹන අතර විවිධ මාර්ගයෙන් සන්නිවේදන මාධ්‍ය ආයතන සමඟ සම්බන්ධ වීම දැකිය හැකිය.

මහජන සම්බන්ධතා වෙනුවෙන්  අන්තර්ජාලය යොදා ගන්නා අවස්ථා වර්ධනය වී තිබේ. සෑම ක්ෂේත්‍රයකටම එය ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව දේශපාලන මහජන සම්බන්ධතා සඳහා ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල යොදා ගන්නා ආකාරය දැක ගත හැකිය. මෙහි අහිතකර තත්ත්වයක් වන්නේ ඇතැම් චරිත පිළිබඳව විවිධ අයහපත් මත නිර්මාණයට ද මේ මාධ්‍ය යොදාගත හැකි වීමයි.

සයිබර් ආරක්ෂාව ද මේ නිසා ම මතුව ඇති තවත් අංශයකි. විවිධ ආකාරයෙන් වෙබ් අඩවි වලට එල්ලවන තර්ජන මැඬලීම මෙහි අරමුණයි. ශ්‍රී ලංකාවට ද එසේ සයිබර් තර්ජන වලට මුහුණ දීමට සිදුවිය. ඇමරිකාව මේ වන විට අභ්‍යවකාශ බලකායක් පවා නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාව තුලද එවැනි සිදුවීම් ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ ක්‍රමවේද හඳුන්වා දී ඇත. තොරතුරු තාක්ෂණ ආරක්ෂක නිලධාරීන් පිළිබඳව ද අවධානය යොමු වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. සමාජ මාධ්‍ය හා සයිබර් ආරක්ෂාව ගැන නිරන්තර ජනතාව දැනුවත් කිරීමට ද වැඩපිළිවෙළ සකස් කර තිබේ.


වැළඳගැනීමක්

වැළඳගැනීමක් ඔබ වෙනුවෙන් තිළිණයක් හමුවුණා මිලක් රහිතය බැටරි අනවශ්‍යයි බදුවලින් නිදහස් නිහඩව සිදුවන්නක් අතිශයින් පෞද්ගලිකයි සම්පූර්ණයෙන් නැවත ...