Friday, December 16, 2022

වැළඳගැනීමක්

වැළඳගැනීමක්



ඔබ වෙනුවෙන් තිළිණයක් හමුවුණා

මිලක් රහිතය

බැටරි අනවශ්‍යයි

බදුවලින් නිදහස්

නිහඩව සිදුවන්නක්

අතිශයින් පෞද්ගලිකයි

සම්පූර්ණයෙන් නැවත ලැබෙන සුළුයි

ඒ මගෙන් ඔබට ලැබෙන වැළඳ ගැනීමක්







Thursday, December 15, 2022

මාධ්‍ය සාක්ෂරතාවයේ අවශ්‍යතාව

 මාධ්‍ය සාක්ෂරතාවයේ අවශ්‍යතාව 



මාධ්‍ය සාක්ෂරතාව බිහි වන්නේ මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙනි.මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු වීමට හේතු 2ක් බලපෑවේය. එනම්,

1. පුවත්පත් ,ගුවන් විදුලිය ,රූපවානිය හා සිනමාව වැනි බහුජන මාධ්‍ය බිහිවීමෙන් එම මාධ්‍ය තුළ සංදේශ නිර්මාණකරණය සඳහා එම මාධ්‍ය පිළිබඳ ඉගෙනීමේ අවශ්‍යතාවය මතු විය.

2. එම මාධ්‍ය මඟින් සමාජගත කරනු ලබන විවිධ සංදේශ මඟින් ග්‍රාහක සමාජයට ඇතිවන බලපෑම අර්ථකථනය කර ගැනීම සඳ්හා එම මාධ්‍ය පිළිබඳ ඉගෙනීම අවශ්‍ය විය.

මාධ්‍ය සාක්ෂරතාව බිහි වනනේ මෙම අවශ්‍යතාව දෙකම මැදි කර ගනිමිනි. ඒ අඅනුව මාධ්‍ය අධ්‍යාපනය තුළින් මාධ්‍ය සාක්ෂරතාව නැමැති අවශ්‍යතාවය අවධාරණය කෙරිණි.

බහුජන මාධ්‍ය රැසක් බිහි වූ කාර්මික බටහිර රටවල මුලින්ම මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ අදහස් ඉස්මතු විය. විශේෂයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන්ගේ වර්ධනයත් සමඟ බටහිර සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව සංවාදයට බදුන් විය. ඒ අනුව මුද්‍රිත මාධ්‍ය හා සම්බන්ධව එතෙක් පැවති සාක්ෂරතාවය නැමැති යෙදුම මාධ්‍ය සාක්ෂරතාවය යනුවෙන් පුළුල් විය. මුද්‍රිත මාධ්‍යයේ සංදේශ පරිහරණය කිරීමට, විශ්ලේෂණය කිරීමට, ඇගයුමට හා නිර්මාණය කිරීමට අත්‍යාවශ්‍ය වන්නේ අක්ෂර සාක්ෂරතාවයි. නමුත් ශ්‍රව්‍ය දෘශ්‍ය බහු ජන මාධ්‍ය භාවිතය හේතු කරගෙන අක්ෂර සාක්ෂරතාවය ඉක්මවා ගිය මාධ්‍ය සාක්ෂරතාවයේ අවශ්‍යතාව මතු විය.  මාධ්‍ය සාක්ෂරතාව මගින් මාධ්‍ය පරිහරණය වඩාත් අර්ථවත් කිරීමේ අරමුණ සමාජය තුළ ස්ථාපිත වීමත් සමග මාධ්‍ය විශ්ලේෂකයන්ගේ අවධානය මාධ්‍ය සාක්ෂරතා සංකල්පය කෙරෙහි වඩ වඩාත් යොමු විය.


මෙයින් අදහස් වන්නේ මුද්‍රිත මාධ්‍යය නිසි ආකාරයෙන් පරිශීලනය කිරීමට අක්ෂර සාක්ෂරතාවය පමණක් ප්‍රමාණවත් බව නොවේ. පුවත්පත ,සඟරාව , පෝස්ටර් ,අත්පත්‍රිකා, පොත් පත් වැනි බහුජන මාධ්‍යයන්ගේ අක්ෂර පෙළ පමණක් වටහා ගැනීමෙන් පූර්ණ අවබෝධයක් ලබා ගත නොහැකිය. එම මුද්‍රිත මාධ්‍යය මෙවලම් තුළ අකුරු සමඟ බහාලන ඡායාරූප ,සිතුවම් ,ග්‍රැෆික් ,කාටුන් ,හැඩතල , වර්ණ ,පිටු සැකසුම වැනි සාධක නිසි ආකාරයෙන්  අවබෝධ කර ගැනීමට නම් අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව ඉක්මවා ගිය දෘශ්‍ය රූප වල අර්ථය නිවැරදි ව හදුනා ගැනීමෙන් හැකියාව අවශ්‍ය වේ.මුද්‍රිත මාධ්‍යය තුළ ද මාධ්‍ය සාක්ෂරතාවයේ අවශ්‍යතාව මතු වන්නේ එවිටය. 

මාධ්‍ය සාක්ෂරතාව බිහි වූයේ කාර්මීකරණය තුළින් සන්නිවේදන තාක්ෂණය සංවර්ධනය කරගත් බටහිර රටවල් කේන්ද්‍ර කරගෙන බව අප දනිමු.

මේ වන විට මාධ්‍ය සාක්ෂරතාවයේ අවශ්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු වී ඇත. යුනෙස්කෝව යුරෝපීය කොමිසම ආදී ජාත්‍යන්තර මට්ටමේ සංවිධාන පවා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව පෙනේ. ජනමාධ්‍ය ඇතුළු බහුජන මාධ්‍යයට පැවතිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හා එම මාධ්‍ය මගින් තොරතුරු ග්‍රහණය කර ගැනීමේ මානව අයිතිවාසිකම් එම සංවිධානවල පිළිගැනීමට ලක්ව තිබේ. මේ නිසා මාධ්‍ය පාලනය කිරීම අපහසුය. මෙසේ මාධ්‍යයට ලැබී ඇති නිදහස හේතු කරගෙන ග්‍රාහක සමාජයේ අවපැවැත්මට හේතුවන මාධ්‍ය සංදේශකරණය ක්‍රියාවලියක නූතන මාධ්‍ය නිතරම සිටින බවට චෝදනා එල්ල වේ. 

මේ නිසා එම බලපෑමේ අහිතකර තත්ත්වයන් මඟ හරවා ගැනීමට නම් වඩාත් වඩාත් සුදුසු  පියවර වන්නේ මාධ්‍ය ග්‍රාහකයන් මාධ්‍ය සාක්ෂරතාවයෙන් සවිමත් කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ තම සමාජීය භූමිකාව හා කාර්ය භාරය වගකීමෙන් යුතුව ඉටු කරන පුද්ගලයෙකු හෙවත් සිය මෙහෙවර ඉටු කරන පුරවැසියකු බිහි කර ගැනීමට නම් මාධ්‍ය සාක්ෂරතාවය අවශ්‍ය වේ.

Monday, December 12, 2022

සංවර්ධන සන්නිවේදනය පිලිබද ශ්‍රී ලාංකික අත්දැකීම්

සංවර්ධන සන්නිවේදනය පිලිබද ශ්‍රී ලාංකික අත්දැකීම් 



සංවර්ධන සන්නිවේදනය පිළිබඳ නිශ්චිත ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලදී විවිධ ආකෘතීන් අත්හදා ඇති බව ඉතිහාසය විමසන විට පෙනේ.දැනට ද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය විසින් සිය ආයතනික ව්‍යුහාත්මක ආකෘතිය තුළ පහළ මට්ටමේ සමෘද්ධි ප්‍රතිලාභීන් හා සමෘද්ධි අධිකාරිය සමඟ පවත්වාගෙන යන සන්නිවේදනාත්මක සම්බන්ධතාව එවැනි එක් ආකෘතියක් ලෙස දැක්විය හැකිය. එසේම සර්වෝදය ව්‍යාපාරය මෙන්ම සණස ද, සෞඛ්‍ය අධ්‍යාපන කාර්‍යාංශයද තම තමන්ගේ සංවර්ධනාත්මක අරමුණු ජය ගැනීම සඳහා විවිධ ආකෘති භාවිත කරති.

ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය සඳහා ජනමාධ්‍ය භාවිතය පිළිබඳ විමසීමේදී කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. එය ආරම්භයේ සිටම මහජන සේවා  ගුවන්විදුලියක් ලෙස කටයුතු කරමින් ජනතාවගේ විවිධාකාර වූ සංවර්ධනයක් උදෙසා විශාල සේවාවක් ඉටු කර ඇත. එසේම ගුවන්විදුලි සේවා පිහිටුවීම මඟින් ඒ ඒ ප්‍රදේශවල ජනයාගේ සංවර්ධන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ගුවන් විදුලි මාධ්‍යයට කළ හැකි උපරිම සේවාවක් සලසා ඇත.

1963 වර්ෂයේදී ගුවන්විදුලියේ සන්ධ්‍යා සේවය ආරම්භ කිරීම කැපී පෙනෙන්නකි. මේ මඟින් ග්‍රාමීය සන්ධ්‍යාව වැඩසටහන ඉදිරිපත් කරනු ලැබිණි. මෙහි අරමුණ වූයේ ග්‍රාමීය මට්ටමේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ජන ජීවිතය නඟා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය තොරතුරු ආදිය ලබා දීමයි. එපමණක් නොව කාන්තා සංවර්ධනය අරමුණු කරගත් වැඩසටහන් ද විකාශය කරනු ලැබිණි. එපමණක් නොව අධ්‍යාපනය, ආගම, සංස්කෘතිය ආදී විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය සදහා ගුවන් විදුලි නාට්‍ය ,ප්‍රවෘත්ති , ගීතය හා සංගීතය ද යොදා ගනු ලැබිණි. 

1970 දී සමඟි පෙරමුණු රජය පිහිටුවීමෙන් පසු ඉදිරිපත් කරන ලද ජාතික සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු සැලැස්ම සමඟ සංවර්ධන සන්නිවේදනය පිළිබඳ නව අත්දැකීම් ශ්‍රී ලංකාවට ලැබිණි. මේ වකවානුව වනවිට ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාව පිහිටුවා තුබූ අතර ආරම්භයේදීම ලේක්හවුස් පුවත්පත් ආයතනය රජයට පවරා ගැනීම නිසා රජයේ පුවත්පත් ද බිහි විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ ගුවන් විදුලිය හා රජයේ පුවත්පත් ,රජයේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමෙහිලා සංවර්ධන සන්නිවේදකයා බවට පත්විය. එසේ වුවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන ලද 1967 වර්ෂයේදී නිකුත් කරන ලද සංස්ථා ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් මෙසේ දක්වා ඇත.

" එය රටේ සංවර්ධනයට බලවත් රුකුලක් කර පෙන්වීමටත් බලාපොරොත්තු වන්නෙමු. ගුවන් විදුලියෙන් විනෝදයට දිය යුතු තැන සුළු කොට නොතකා අධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් තව තවත් මුවහත් කළ හැකි වන පරිද්දෙන් කටයුතු පළල් කර ගැනීමට ද, ජාතික ප්‍රබෝධය ලියලවා හැරීමට ද අපි බලාපොරොත්තු වන්නෙමු."

1973 දී බිහි වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රිජ්වේ තිලකරත්න යුගය තුළ ගුවන් විදුලිය සම්පූර්ණයෙන්ම යොමු කරන ලද එවකට ක්‍රියාත්මක කරමින් තුබූ වගා සංග්‍රාමය පිළිබඳ පණිවිඩය ජනයා වෙත ගෙන යාමට ය. මේ නිසා ගුවන් විදුලිය රජයේ දේශපාලන ප්‍රකාශනයක් බවට පත් වූ බව කියැවේ. එහෙත් ගුවන් විදුලිය විසින් කරන ලද්දේ රජයේ සංවර්ධන ප්‍රයත්නය සඳහා ගුවන් විදුලිය යොදා ගැනීමේ සංවර්ධන සන්නිවේදනාත්මක කාර්යයකි.එය මාධ්‍යයක් වශයෙන් කෙසේ සාර්ථක වූයේද යන්න වෙනම විමසා බැලිය යුත්තකි. එසේ වුවත් එකල ප්‍රවෘත්ති ,උදා ගී, සංවර්ධනාත්මක  පණිවිඩ රැගත් විවිධ සාකච්ඡා, ප්‍රබුද්ධ ගී, දේශාභිමානී ගී ආදිය ගුවන් විදුලියට අනන්‍යතාවක් ඇති කළේය. ගුවන් විදුලියේ සෘජු විකාශනයන් හා සම්බන්ධ වෙමින් ගුවන් විදුලි ගොවි සමාජ පිහිටු වීමත්,  ඒවා සඟ කෘෂි සංවර්ධන නිලධාරින් හා ගොවීන් එක්වකටයුතු කිරීමත් කැපී පෙනෙන්නකි. මෙම සංවර්ධන පණිවිඩය රජයේ ලේක්හවුස් පුවත්පත් විසින් ද ඉදිරිපත් කරනු ලැබීය. 

Saturday, December 10, 2022

ශ්‍රී දළදා වහන්සේ

 ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරමු.








 

 

පාලි ගාථාව

ලෝකේක නාථ වදනම් බුජ රාජ හංසං

වෙනෙයිය කොමුද වනං වලි සීතලංහි

අද්ධින්දුකාර වර රූප විරාජ මානං

වන්දාමි සාදු මමලං ජින දන්ත ධාතුං


සිංහල අර්ථය

දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නැමැති නෙළුම් විලට රාජ හංසයෙකු වැනි වූ හික්මවිය යුතු ජනයා නැමැති කුමුදුවිල පුබුදු කරන්නා වූ චන්ද්‍රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ බුදු රජාණන් වහන්සේගේ නිර්මල වූ දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි.





Friday, December 9, 2022

ශ්‍රී පාදස්ථානය

 ශ්‍රී පාදස්ථානය










ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් ස්ථාන අතරින් එකක් ලෙස ශ්‍රී පාදය පෙන්වා දිය හැකිය. එහි බුදුන වහන්සේගේ වම් සිරිපා සළකුණ පිහිටුවා ඇත.

සෑම වසරකම උඳුවප් මාසයේ පොහොය දිනයෙන් සිරිපා වන්දනා සමය ආරම්භ කරනු ලබයි. සැදැහැවතුන් ආගම් භේදයකින් තොරව ශ්‍රී පාද වන්දනාවේ නිරතවීම සතුටට කරුණකි. උඳුවප් මාසයෙන් සිරිපා සමය ආරම්භ කොට වෙසක් මාසයෙන් වන්දනා සමය අවසන් වේ. මැයි - දෙසැම්බර් කාලය අවාරය ලෙස හැදින්වේ.

බුදු රජාණන් වහන්සේ කැළණියට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොළ කන්දට වැඩ සිරිපා ලාංඡනය පිහිට වූ බව සඳහන් වේ. සමනොළ කන්ද පරිවාර කඳු වැටි රාශියකින් යුක්ත වන අතර එම කන්දට අධිපති වූයේ සමන් දෙවියන් ය. 

සධාතුක කරඬු සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජ මහා විහාරයේ සිට සිරිපා මළුව තෙක් වැඩම කරවීම සිදු වේ. එහිදී නල්ලතන්නිය හරහා උඩමළුව කරා පෙරහැරකින් ගමන් කරනු ලබයි. එය සබරගමු,බස්නාහිර සහ මධ්‍යම යන පළාත් තුනට අයත් රත්නපුර, කොළඹ ,කෑගල්ල ,නුවරඑළිය යන දිස්ත්‍රික්ක හතරක් හරහා ගමන් කරනු ලබයි.

'ඇඩම්ස් පීක්' ලෙස ඉංග්‍රීසියෙන් හදුන්වන ශ්‍රී පාදය බහු ආගමික පුදබුමක් බවට පතව් ඇත. ඒ අනුව මුස්ලිම් බැතිමතුන් තම දෙවියන් විසින් මෙලොවට මැවූ පළමු පුද්ගලයා වන ආදම්ගේ පාදයේ සටහන ඇති බවට විශ්වාස කරන අතර හින්දු බැතිමතුන් ශිව දෙවියන්ගේ පාදයේ සටහන එහි ඇති බවට විශ්වාස කරයි.

සිරිපා වන්දනාව හා බැදුණු සාම්ප්‍රදායික වත් පිළිවෙත් පවතියි. බොහෝ වන්දනා කරුවෝ ඉදිකටු පහන යන නමින් හදුන්වන ස්ථානයේ ඉදිකටු හා නූල දවටා යති. පළමුවර සිරිපා කරුණා කරන පුද්ගලයා කෝඩුකාරයා ලෙස හදුන්වන අතර ඔවුන සීත ගඟුල යනුවෙන් හදුන්වන ජල පහරින් නාගත යුතුය.

සිරිපා වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් ස්ථාන කිහිපයක් පසු කරනු ලබයි. එනම් මකර තොරණ ,ලිහිණි හෙල, කටු කිතුල වංගුව, ධර්මරාජ ගල, සීත ගඟුල, ගෙත්තම් පාන, හැරමිටි පාන, අහස් ගව්ව, මහගිරි දඹය, සිරිපා මළුව ,සිරිපා පදමය හා දොළොස් මහේ පහන ආදියයි. 

සිරිපා උඩමළුවට පැමිණි පසු තමන් ශී පාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව වන්දනාකරුවෝ එහි ඇති ඝන්ටාරය නාද කරයි.

අකීකරු පෙම

අකීකරු පෙම




පුරුදු පාරක යන අපි

නුපුරුදු හැගුම් සිත් බැදන්

සුසුම් පමණකි සිනහා හඩ නෑ

පුරයි මුණිවත දොඩමළු සිතින් 

පැවසුවත් එක් වදනක් මා

දනී හොද හැටි පෑරෙන හැටි නුඹේ සිතත්

ඉතින් හිමියණි නවතින්නම් මා

මුණිවත පුරා එක සිතින්


                    

Wednesday, December 7, 2022

සීගිරිය

 සීගිරිය 


සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මායිමේ පිහිටි මුහුදු මට්ටමින් 350m ක් පමණ උසැති ශ්‍රී ලංකාවේ උතුරු අඩතැනි කලාපයේ කැපී පෙනෙන භූ ලක්ෂණයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ලෝක උරුමයකි. 

වර්තමානයේ අපට දක්නට ලැබෙන සීගිරියේ ප්‍රධාන ඉදිකිරීම් සියල්ලම බිහිව ඇත්තේ 1 වන කාශ්‍යප රජුගේ (ක්‍රි.ව.477- 495) පාලන සමයේදී ය. ලෞකිකත්වයට වඩාත් නැඹුරු වූ කාශ්‍යප රජු කුවේරයාගේ ආලකමන්දාව පරිද්දෙන් සිය රාජධානිය ගොඩ නඟාගත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. ක්‍රි.ව. 6-7 සියවස්වල දී මුල්ම ආරාමිය අවධියට අයත් කටාරම් කෙටූ ගල්ලෙන් තවදුරටත් වැඩි දියුණු වී ඇති අතර බෝධිඝරය, දාගැබ ආදී පූජනීය ගොඩනැගිලිද ඉදි විය. 

ආයත චතුරශ්‍රාකාර බිම් සැළැස්මකට අනුව නිර්මාණය කර ඇති සීගිරි නගර සැළැස්ම බටහිර, නැගෙනහිර දිශානුගතව විහිදෙන්නෙකි. සංකීර්ණය වටා ප්‍රාකාර තුනක් හා දිය අගල් දෙකකි. ඒ ඔස්සේ අභ්‍යන්තරයට පිවිසීම සඳහා සිව්දෙසින් දොරටු සතරකි.  සීගිරි සැළැස්මෙහි කැපී පෙනෙන අංගය වන ජල උද්‍යානය, බටහිර පාර්ශවයෙහි විශාල බිම් සරියක් පුරා පැතිරී ඇති අතර එහි නිර්මාණ ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් හතරකි. එනම්, මුල්ම කොටස ක්ෂුද්‍ර ජල උද්‍යානය නම් වන අතර සෙසු කොටස් අංක 1,2,3 වශයෙන් වර්තමානයේ නම් කර ඇත.

සීගිරි බිතු සිතුවම් හා හාත්පස පරිසරය පිලිබද සෞන්දර්යාත්මක හැඟීම් මනාව කාව්‍යයට නගා ඇති කුරුටු ගී සාහිත්‍යයමය වශයෙන් හා භාෂාමය වශයෙන් වැදගත් වන්නා සේම සමකාලීන සමාජය පිලිබද තොරතුරු ලබා දීම කෙරෙහිද දායක වේ.


වැළඳගැනීමක්

වැළඳගැනීමක් ඔබ වෙනුවෙන් තිළිණයක් හමුවුණා මිලක් රහිතය බැටරි අනවශ්‍යයි බදුවලින් නිදහස් නිහඩව සිදුවන්නක් අතිශයින් පෞද්ගලිකයි සම්පූර්ණයෙන් නැවත ...