මාධ්‍ය සාක්ෂරතාවයේ අවශ්‍යතාව
මාධ්‍ය සාක්ෂරතාව බිහි වන්නේ මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙනි.මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු වීමට හේතු 2ක් බලපෑවේය. එනම්,
1. පුවත්පත් ,ගුවන් විදුලිය ,රූපවානිය හා සිනමාව වැනි බහුජන මාධ්‍ය බිහිවීමෙන් එම මාධ්‍ය තුළ සංදේශ නිර්මාණකරණය සඳහා එම මාධ්‍ය පිළිබඳ ඉගෙනීමේ අවශ්‍යතාවය මතු විය.
2. එම මාධ්‍ය මඟින් සමාජගත කරනු ලබන විවිධ සංදේශ මඟින් ග්රාහක සමාජයට ඇතිවන බලපෑම අර්ථකථනය කර ගැනීම සඳ්හා එම මාධ්‍ය පිළිබඳ ඉගෙනීම අවශ්‍ය විය.
මාධ්‍ය සාක්ෂරතාව බිහි වනනේ මෙම අවශ්‍යතාව දෙකම මැදි කර ගනිමිනි. ඒ අඅනුව මාධ්‍ය අධ්‍යාපනය තුළින් මාධ්‍ය සාක්ෂරතාව නැමැති අවශ්‍යතාවය අවධාරණය කෙරිණි.
බහුජන මාධ්‍ය රැසක් බිහි වූ කාර්මික බටහිර රටවල මුලින්ම මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ අදහස් ඉස්මතු විය. විශේෂයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන්ගේ වර්ධනයත් සමඟ බටහිර සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව සංවාදයට බදුන් විය. ඒ අනුව මුද්‍රිත මාධ්‍ය හා සම්බන්ධව එතෙක් පැවති සාක්ෂරතාවය නැමැති යෙදුම මාධ්‍ය සාක්ෂරතාවය යනුවෙන් පුළුල් විය. මුද්‍රිත මාධ්‍යයේ සංදේශ පරිහරණය කිරීමට, විශ්ලේෂණය කිරීමට, ඇගයුමට හා නිර්මාණය කිරීමට අත්‍යාවශ්‍ය වන්නේ අක්ෂර සාක්ෂරතාවයි. නමුත් ශ්‍රව්‍ය දෘශ්‍ය බහු ජන මාධ්‍ය භාවිතය හේතු කරගෙන අක්ෂර සාක්ෂරතාවය ඉක්මවා ගිය මාධ්‍ය සාක්ෂරතාවයේ අවශ්‍යතාව මතු විය. මාධ්‍ය සාක්ෂරතාව මගින් මාධ්‍ය පරිහරණය වඩාත් අර්ථවත් කිරීමේ අරමුණ සමාජය තුළ ස්ථාපිත වීමත් සමග මාධ්‍ය විශ්ලේෂකයන්ගේ අවධානය මාධ්‍ය සාක්ෂරතා සංකල්පය කෙරෙහි වඩ වඩාත් යොමු විය.
මෙයින් අදහස් වන්නේ මුද්‍රිත මාධ්‍යය නිසි ආකාරයෙන් පරිශීලනය කිරීමට අක්ෂර සාක්ෂරතාවය පමණක් ප්‍රමාණවත් බව නොවේ. පුවත්පත ,සඟරාව , පෝස්ටර් ,අත්පත්‍රිකා, පොත් පත් වැනි බහුජන මාධ්‍යයන්ගේ අක්ෂර පෙළ පමණක් වටහා ගැනීමෙන් පූර්ණ අවබෝධයක් ලබා ගත නොහැකිය. එම මුද්‍රිත මාධ්‍යය මෙවලම් තුළ අකුරු සමඟ බහාලන ඡායාරූප ,සිතුවම් ,ග්‍රැෆික් ,කාටුන් ,හැඩතල , වර්ණ ,පිටු සැකසුම වැනි සාධක නිසි ආකාරයෙන් අවබෝධ කර ගැනීමට නම් අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව ඉක්මවා ගිය දෘශ්‍ය රූප වල අර්ථය නිවැරදි ව හදුනා ගැනීමෙන් හැකියාව අවශ්‍ය වේ.මුද්‍රිත මාධ්‍යය තුළ ද මාධ්‍ය සාක්ෂරතාවයේ අවශ්‍යතාව මතු වන්නේ එවිටය.
මාධ්‍ය සාක්ෂරතාව බිහි වූයේ කාර්මීකරණය තුළින් සන්නිවේදන තාක්ෂණය සංවර්ධනය කරගත් බටහිර රටවල් කේන්ද්‍ර කරගෙන බව අප දනිමු.
මේ වන විට මාධ්‍ය සාක්ෂරතාවයේ අවශ්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු වී ඇත. යුනෙස්කෝව යුරෝපීය කොමිසම ආදී ජාත්‍යන්තර මට්ටමේ සංවිධාන පවා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව පෙනේ. ජනමාධ්‍ය ඇතුළු බහුජන මාධ්‍යයට පැවතිය යුතු ප්රජාතන්ත්රවාදී නිදහස හා එම මාධ්‍ය මගින් තොරතුරු ග්‍රහණය කර ගැනීමේ මානව අයිතිවාසිකම් එම සංවිධානවල පිළිගැනීමට ලක්ව තිබේ. මේ නිසා මාධ්‍ය පාලනය කිරීම අපහසුය. මෙසේ මාධ්‍යයට ලැබී ඇති නිදහස හේතු කරගෙන ග්රාහක සමාජයේ අවපැවැත්මට හේතුවන මාධ්‍ය සංදේශකරණය ක්‍රියාවලියක නූතන මාධ්‍ය නිතරම සිටින බවට චෝදනා එල්ල වේ.
මේ නිසා එම බලපෑමේ අහිතකර තත්ත්වයන් මඟ හරවා ගැනීමට නම් වඩාත් වඩාත් සුදුසු පියවර වන්නේ මාධ්‍ය ග්රාහකයන් මාධ්‍ය සාක්ෂරතාවයෙන් සවිමත් කිරීමයි. ප්රජාතන්ත්රවාදී සමාජයක් තුළ තම සමාජීය භූමිකාව හා කාර්ය භාරය වගකීමෙන් යුතුව ඉටු කරන පුද්ගලයෙකු හෙවත් සිය මෙහෙවර ඉටු කරන පුරවැසියකු බිහි කර ගැනීමට නම් මාධ්‍ය සාක්ෂරතාවය අවශ්‍ය වේ.


❤
ReplyDelete💙
ReplyDelete👍
ReplyDelete