සංවර්ධන සන්නිවේදනය පිලිබද ශ්‍රී ලාංකික අත්දැකීම්
සංවර්ධන සන්නිවේදනය පිළිබඳ නිශ්චිත ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලදී විවිධ ආකෘතීන් අත්හදා ඇති බව ඉතිහාසය විමසන විට පෙනේ.දැනට ද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය විසින් සිය ආයතනික ව්‍යුහාත්මක ආකෘතිය තුළ පහළ මට්ටමේ සමෘද්ධි ප්‍රතිලාභීන් හා සමෘද්ධි අධිකාරිය සමඟ පවත්වාගෙන යන සන්නිවේදනාත්මක සම්බන්ධතාව එවැනි එක් ආකෘතියක් ලෙස දැක්විය හැකිය. එසේම සර්වෝදය ව්‍යාපාරය මෙන්ම සණස ද, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයද තම තමන්ගේ සංවර්ධනාත්මක අරමුණු ජය ගැනීම සඳහා විවිධ ආකෘති භාවිත කරති.
ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය සඳහා ජනමාධ්‍ය භාවිතය පිළිබඳ විමසීමේදී කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. එය ආරම්භයේ සිටම මහජන සේවා ගුවන්විදුලියක් ලෙස කටයුතු කරමින් ජනතාවගේ විවිධාකාර වූ සංවර්ධනයක් උදෙසා විශාල සේවාවක් ඉටු කර ඇත. එසේම ගුවන්විදුලි සේවා පිහිටුවීම මඟින් ඒ ඒ ප්‍රදේශවල ජනයාගේ සංවර්ධන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ගුවන් විදුලි මාධ්‍යයට කළ හැකි උපරිම සේවාවක් සලසා ඇත.
1963 වර්ෂයේදී ගුවන්විදුලියේ සන්ධ්‍යා සේවය ආරම්භ කිරීම කැපී පෙනෙන්නකි. මේ මඟින් ග්‍රාමීය සන්ධ්‍යාව වැඩසටහන ඉදිරිපත් කරනු ලැබිණි. මෙහි අරමුණ වූයේ ග්‍රාමීය මට්ටමේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ජන ජීවිතය නඟා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය තොරතුරු ආදිය ලබා දීමයි. එපමණක් නොව කාන්තා සංවර්ධනය අරමුණු කරගත් වැඩසටහන් ද විකාශය කරනු ලැබිණි. එපමණක් නොව අධ්‍යාපනය, ආගම, සංස්කෘතිය ආදී විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය සදහා ගුවන් විදුලි නාට්‍ය ,ප්රවෘත්ති , ගීතය හා සංගීතය ද යොදා ගනු ලැබිණි.
1970 දී සමඟි පෙරමුණු රජය පිහිටුවීමෙන් පසු ඉදිරිපත් කරන ලද ජාතික සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු සැලැස්ම සමඟ සංවර්ධන සන්නිවේදනය පිළිබඳ නව අත්දැකීම් ශ්‍රී ලංකාවට ලැබිණි. මේ වකවානුව වනවිට ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාව පිහිටුවා තුබූ අතර ආරම්භයේදීම ලේක්හවුස් පුවත්පත් ආයතනය රජයට පවරා ගැනීම නිසා රජයේ පුවත්පත් ද බිහි විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ ගුවන් විදුලිය හා රජයේ පුවත්පත් ,රජයේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමෙහිලා සංවර්ධන සන්නිවේදකයා බවට පත්විය. එසේ වුවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන ලද 1967 වර්ෂයේදී නිකුත් කරන ලද සංස්ථා ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් මෙසේ දක්වා ඇත.
" එය රටේ සංවර්ධනයට බලවත් රුකුලක් කර පෙන්වීමටත් බලාපොරොත්තු වන්නෙමු. ගුවන් විදුලියෙන් විනෝදයට දිය යුතු තැන සුළු කොට නොතකා අධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් තව තවත් මුවහත් කළ හැකි වන පරිද්දෙන් කටයුතු පළල් කර ගැනීමට ද, ජාතික ප්රබෝධය ලියලවා හැරීමට ද අපි බලාපොරොත්තු වන්නෙමු."
1973 දී බිහි වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රිජ්වේ තිලකරත්න යුගය තුළ ගුවන් විදුලිය සම්පූර්ණයෙන්ම යොමු කරන ලද එවකට ක්‍රියාත්මක කරමින් තුබූ වගා සංග්‍රාමය පිළිබඳ පණිවිඩය ජනයා වෙත ගෙන යාමට ය. මේ නිසා ගුවන් විදුලිය රජයේ දේශපාලන ප්රකාශනයක් බවට පත් වූ බව කියැවේ. එහෙත් ගුවන් විදුලිය විසින් කරන ලද්දේ රජයේ සංවර්ධන ප්රයත්නය සඳහා ගුවන් විදුලිය යොදා ගැනීමේ සංවර්ධන සන්නිවේදනාත්මක කාර්යයකි.එය මාධ්‍යයක් වශයෙන් කෙසේ සාර්ථක වූයේද යන්න වෙනම විමසා බැලිය යුත්තකි. එසේ වුවත් එකල ප්රවෘත්ති ,උදා ගී, සංවර්ධනාත්මක පණිවිඩ රැගත් විවිධ සාකච්ඡා, ප්රබුද්ධ ගී, දේශාභිමානී ගී ආදිය ගුවන් විදුලියට අනන්‍යතාවක් ඇති කළේය. ගුවන් විදුලියේ සෘජු විකාශනයන් හා සම්බන්ධ වෙමින් ගුවන් විදුලි ගොවි සමාජ පිහිටු වීමත්, ඒවා සඟ කෘෂි සංවර්ධන නිලධාරින් හා ගොවීන් එක්වකටයුතු කිරීමත් කැපී පෙනෙන්නකි. මෙම සංවර්ධන පණිවිඩය රජයේ ලේක්හවුස් පුවත්පත් විසින් ද ඉදිරිපත් කරනු ලැබීය.

👍nice
ReplyDeleteGood
ReplyDelete💚
ReplyDeleteGreat
ReplyDelete